top of page
Dhanuka Kaluarachchi

T20 ලෝක කුසලානය 2026 : ශ්‍රී ලංකාවේ සූදානම කොහොමද?



T20 ලෝක කුසලාන තරගාවලියේ දී නොසිතු ලෙස කඩා වැටීමකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

එම තත්ත්වය මැද නායක වනිදු හසරංග එළඹෙන ඉන්දීය තරගාවලියට පෙර ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් (ජුලි 11 වැනිදා) නිවේදනය කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන සහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරු වලින් ඉල්ලා අස්වුයේ T20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවය.

ජයසුරිය ගේ ආගමනය

ක්‍රිස් සිල්වර්වුඩ් ගෙන් හිස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා තාවකාලික පත් කිරීමක් ලෙස සනත් ජයසුරිය නම් කිරීමට ක්‍රිකට් ආයතනය විසින් පියවර ගන්නා ලදී.


මීළඟ T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ය.


සම සත්කාරකත්වය දරන බැවින් 2026 වසරේදී පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ වන විටත් සුදුසුකම් ලබා අවසන් ය.


ඒ අනුව එළඹෙන T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සතුවිය යුතු සැලසුම් මොනවාද ?


එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සැලැස්ම

2024 වසරේ පැවති ආකාරයට මීළඟ ලෝක කුසලාන තරගාවලියේදී ද තරග 55ක් පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

කණ්ඩායම් 05 බැගින් කාණ්ඩ 04ක් යටතේ රටවල් 20ක් 2026 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග වැදීමට නියමිතය.

පළමු වටය අවසානයේ දී එක් එක් කාණ්ඩයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

සුදුසුකම් ලැබූ රටවල් මොනවාද ?

සම සත්කාරකත්වය දැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින පළමු කණ්ඩායම් දෙක වේ.

සුදුසුකම් ලබන ඉතිරි කණ්ඩායම් 10 තෝරා ගනු ලබන්නේ පසුගියදා අවසන් වූ T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සහ ජුනි 30 වෙනිදායින් අවසන් වූ ICC විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුවය.

ඒ අනුව සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සහ සුපිරි පන්දු වාරයෙන් පකිස්ථානයට පරාජය ගෙන දෙමින් සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබූ ඇමෙරිකාව මේ වන විටත් මීළඟ T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

කෙසේ වුවත් අවසන් වූ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකිවූ පකිස්ථානය (7) , නවසිලන්තය (6) සහ අයර්ලන්තය (11) එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් සපුරාලීමට සමත්ව ඇත්තේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුවය.

2026 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා අවසන් කණ්ඩායම් අට තීරණය කරනු ලබන්නේ 2024 වසරේ දී සුදුසුකම් ලැබීමට සමාන ක්‍රමවේදය තුළ කලාපීය සුදුසුකම් ලබන රටවල් අනුවය.

එක් කලාපයක් සඳහා සුදුසුකම් ලබා ගන්නා ස්ථාන ගණන ඉදිරියේ දී තහවුරු කිරීමට නියමිත බව ICCය දැනුම් දී තිබේ.

‘ඉන්දියාව වගේ සැලස්මක් අපිට ඕන’

2026 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සැලැස්ම කෙසේ විය යුතුදැයි බීබීසී සිංහල ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන් විමසීමක් කළේය.

ඔහු පැවසුවේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දියාව මෙන්ම සැලසුමක් ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය අඩුපාඩු සකස් කරගෙන සැලසුමක් අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවය.

"ඉස්සෙල්ලම මෑත කාලයේ තිබ්බ ලෝක කුසලාන තරගාවලියේ දි ශ්‍රී ලංකා කණ්ඩායමේ අඩුපාඩු මොනවාද කියලා හඳුනා ගැනීම වැදගත් නේ. ප්‍රථමයෙන් කළ යුත්තේ අඩුපාඩු හඳුනා ගැනීමයි."

"අපි ඉන්දියාව කියන කණ්ඩායම බැලුවොත් ඔවුන් ලෝක කුසලානය දිනන්න සංවිධානය වුනේ අවුරුදු 2-3කට කලින් ඉදලා."

"එතකොට ඔවුන්ට අවුරුදු 2-3 කට ඉස්සර ඉදන් යම් අදහසක් තිබුණා ඔවුන් ක්‍රීඩා කරන ක්‍රිඩාංගණ, තණ තීරු මොනවාද කියලා."

"ඒ අවශ්‍යතාවයට අනුව ඔවුන් කළේ අවශ්‍ය ක්‍රීඩකයින් හඳුනා ගැනීම. හඳුනා ගෙන තරග කාලසටහන ප්‍රකාශ කලාට පස්සේ ඒගොල්ලෝ ක්‍රීඩකයින් 15 දෙනෙකුට අඩු කළා."

"මම හිතන්නේ එහෙම සැලස්මක් අවශ්‍යයි ශ්‍රී ලංකා කණ්ඩායමට. මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස්තැන් තියෙනවා පුරවන්න."

"පිතිකරණයේ, පන්දු යැවීමේ තියෙන හිස්තැන් පුරව ගන්න කරන්න පුළුවන් දේ තමයි මගේ අදහස නම් සියලුම දෙනා එක තැනකට එන්න ඕන."

"ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටින්නාවූ පුහුණුකරුවන් , 19න් පහළ, නැගී එන කණ්ඩායමේ සහ ප්‍රධාන කණ්ඩායමේ සියලුම දෙනා මේක තේරුම් අරගෙන, ඊට පස්සේ මේ අයගේ සංචිතවල ඉන්න ක්‍රීඩකයින් මේ තැන්වලට හරි යනවද කියලා උත්සාහ කළ යුතුයි."

"එහෙම නැත්නම් පුහුණුකරුවන්ට යම් කාල සීමාවක් එක්ක වගකීමක් ලබා දීලා මේ වගේ ක්‍රීඩකයින් හොයා ගන්න කටයුතු කරන්න කියලා. ඒකයි මම දකින දේ."

"ඒ වගේම කණ්ඩායමට හොද පුහුණුකරුවෙක් අවශ්‍යයි. එක ප්‍රධාන පුහුණුකරුවෙක් වගේම ටෙස්ට් සහ සීමිත ඕවර් කාණ්ඩයන් සඳහා වෙනම පුහුණුකරුවන් පත් කරනවාද කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ යුතු කරුණක්."

"මම මීට පෙරත් ප්‍රකාශ කළා අවුරුදු 19න් පහළ ඉදලා පාසැල් ක්‍රිකට් වලින් විස්සයි 20 තරගාවලි පවත්වන්න අවශ්‍යයි කියලා අපිට හොඳ ක්‍රීඩකයින් හඳුනා ගන්න. එහෙම පාසල් මට්ටමේ ඉදල බැරිනම් දිස්ත්‍රික්ක මට්ටමේ ඉදලා හරි විස්සයි 20 තරගාවලි සංවිධානය කිරීම වැදගත්."

"ඒකට හේතුව අද අපේ හොඳටම විස්සයි 20 ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයින්ව හඳුනා ගන්නේ NSL තරගාවලියේදී"

"ඒ නිසා අවරුදු 19න් පහළ ඉදලා මේ ක්‍රීඩකයින්ට වර්ධනය වෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි කියන එක මගේ අදහස."

"ඒකෙන් අවුරුදු 2-3ක් යද්දී අපිට පෙනෙයි හොද ක්‍රීඩකයෝ එනවා."

"දැන් පැවැත්වෙන LPL තරගාවලියේදී අපි දැක්කා චමිදු වික්‍රමසිංහ පන්දුවට පහර දෙන ආකාරය ගැන."

"ඒ වගේම චමත් ගෝමස්, මල්ෂ තරුපති ක්‍රීඩා කළා. මේ තරුණ ක්‍රීඩකයින් කණ්ඩායම් එකතු කිරිම සෑහෙන වැදගත් වගේම ඔවුන්ට අවස්ථාව දුන්නොත් හොඳ තැනකට එයි."

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වගේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ගොඩක් වැදගත්." ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.

මේ අතර, එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා කලාපීය වශයෙන් කණ්ඩායම් තෝරා ගැනීමට නියමිත ආකාරය ගැන අවධානය යොමු කිරීම ද වැදගත්වේ.

අප්‍රිකානු කලාපය

2024 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තරගාවලියේ දී විශාල පෙරලියක් සිදුවූයේ අප්‍රිකානු කලාපය තුළය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් 2024 වසරේ පැවති T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා උගන්ඩාව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මීළඟ T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අප්‍රිකානු කලාපයේ තරග ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවත් උගන්ඩාව සහ නැම්බියාව කලාපයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ක්‍රීඩා කරන අතර සිම්බාබ්වේ කණ්ඩායම මෙවර ඔවුන්ට ප්‍රබල අභියෝගයක් ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ.

එමෙන්ම නැවත ගොඩ නැගෙමින් සිටින කෙන්යා කණ්ඩායම, ටැන්සානියාව සහ නයිජීරියාව යන කණ්ඩායම් ද මෙවර අප්‍රිකානු කලාපයෙන් 2026 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සෙසු කණ්ඩායම් සඳහා තර්ජනයක් ගෙන දිය හැකි කණ්ඩායම් ලෙස සැලකේ.

ඇමෙරිකානු කලාපය

අවසන් වූ T20 ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 08 දෙනාගේ වටය දක්වා පැමිණි ඇමෙරිකානු කණ්ඩායම මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත.

මේ වසරේ පැවති T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කැනඩාව සුදුසුකම් ලබා ගැනීමට සමත් වුයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අවසානයේ දි බර්මියුඩා කණ්ඩායමට වඩා දළ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිවීම නිසාය.

බර්මියුඩා කණ්ඩායමේ නායක කමාවූ ලෙවර්රොක් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑම නිසා එම කණ්ඩායම නැවත ගොඩනැගෙමින් සිටියි.

එමෙන්ම මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ආර්ජන්ටිනාව, කේමන් දුපත් සහ පැනමාව යන රටවල් නියෝජනය කරමින් ඉදිරිපත් වන කණ්ඩායම් අභියෝගයක් ගෙන ඒමට සමත් වනු ඇත.

ආසියාව

ඉදිරි T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේදී යුරෝපයට අමතරව ප්‍රබලම අභියෝගයකට මුහුණ දෙන කලාපය ලෙස ආසියානු කලාපය හැඳින්විය හැක.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම නිසා සෘජුවම කලාපයේ සුදුසුකම් ලැබීමේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනා නේපාලය සහ ඕමානය කණ්ඩායම් දෙක හැර සෙසු රටවල්වලට උප - කලාපීය තරගවලට ක්‍රීඩා කොට සුදුසුකම් ලබා ගැනීමට සිදුව තිබේ.

ඕමාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් සිය ක්‍රීඩා දිවියේ අවසන් භාගයට මේ වන විට පැමිණ සිටින අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම තරුණ ක්‍රීඩකයින් ගෙන් සමන්විත නිසා සිය ස්ථානය තහවුරු කර ගැනීමට ඕමානයට ප්‍රබල සටනක් දිමට සිදු වනු ඇත.

බහරේනය, කුවේට් සහ කටාර් යන කණ්ඩායම් තුනද ක්‍රීඩාවේ තම සන්නාමය සනිටුහන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, කලාපයේ අනෙක් පසින් හොංකොං සහ මැලේසියාව වැනි කණ්ඩායම්ද අභියෝග එල්ල කිරීමට සූදානම්ව සිටියි.

6 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page