top of page

වෑන් රියකින් පැමිණි පුද්ගලයෙක් පාසල් සිසුවියක් පැහැරගනී

News Room


රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18යි මාස හයක් වු පාසල් සිසුවියකි. ඇය අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා දවුලගල කැටකුඹුර අම්බර පොල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යන බව පැවසේ.

මෙම පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයකු බවත් ඔහු දැරියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෙම දැරියගේ සහ එම සැකකාර තරුණයාගේ විවාහය සඳහා දෙපාර්ශවයේ කැමැත්ත මුලින් ප්‍රකාශ කර තිබී ඇති අතර පසුව දැරියගේ පියා විසින් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ දැරිය සොයා ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවය.

පොලීසිය පැවසුවේ පාසල් සිසුවිය දවුලගල, හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකව රැඳී සිට ඇති අතර ඊයේ (11) උදෑසන කාලයේ ඇය සිය මිතුරියක සමග පාසලට පිටව යමින් සිටිය දී මෙම පැහැරගැනීම සිදුකර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය සිදුකළ විමර්ශන අනුව පැහැර ගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය ඊයේ දිනයේදීම පොළාන්නරුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොළොන්නරුව පොලීසිය විසින් සොයාගෙන තිබුණි. ඒ අනුව අදාළ වෑන් රථයේ රියදුරුව අද (12) ගම්පොළ ප්‍රදේශයේදී දවුලගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

תגובות


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page